මෝටර් රථයක් පදවාගෙන යමින් සිටි කාන්තාවකට හස්ත මුද්‍රාවෙන් ලිංගික අතවර කළ බව කියන පෞද්ගලික බස් රථ රියදුරෙකු අත්අඩංගුවට ගත් බව බම්බලපිටිය පොලිසිය කියයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මාර්ග අංක 138 හෝමාගම - පිටකොටුව පෞද්ගලික බස් රථයක රියදුරෙකි.
පැමිණිලිකාර කාන්තාව සිය දස හැවිරිදි දියණියව සමග විනෝද වීම සඳහා විහාර මහා දේවී උද්‍යානය කරා යාම සඳහා හයිලෙවල් මාර්ගය ඔස්සේ මෝටර් රථය පදවාගෙන යමින් සිටියදී තිඹිරිගස්සයාය හැව්ලොක් පාර ඩික්මන් හන්දිය මාර්ග සංඥා අසලදී මෝටර් රථය නවතා ඇතැයි පොලිසිය කියයි.
වාහන ඉදිරියට ධාවනය කිරීම සඳහා සංඥා ලැබීමත් සමඟම ඇය සිය මෝටර් රථය බස් රථයට ඉස්සර කිරීමේදී අසුන අසල තිබෙන ජනේලයෙන් දකුණු අත දමා ඇයට හස්ත මුද්‍රාවෙන් ලිංගික අතවරයක් කල බව එම කාන්තාව කරන ලද පැමිණිල්ලේ සඳහන් වේ.
කාන්තාව ඒ සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලිසියේ ළමා හා කාන්තා කාර්ය අංශයේ ස්ථානාධිපතිනි කාන්තා උප පොලිස් පරීක්ෂක රෝෂිනි නිලුශිකා සිරිවර්ධන මහත්මිය වෙත පැමිණිලි කර තිබිණි.
අදාළ සිදුවීම බම්බලපිටිය පොලිස් වසමේ සිදුවී ඇති බැවින් පැමිණිල්ලේ පිටපතක් පොලිසිය වෙත ලැබීමෙන් අනතුරුව විමර්ශන පවත්වා සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 50 ක් වන බෙංගමුවේ පදිංචිකරුවෙකි.